Tuesday, July 5, 2016

විදර්ශනා භාවනා සරල බසින් - (1)ධම්මානුපස්සනාව


හැමදාම ලෞකික සමාධි ගැනම කතා කරන නිසා ලෝකෝත්තර පැත්තට කැමති අයට උදව්වක් වෙන විදියට මම කරලා තියෙන විදර්ශනා භාවනා කීපයක් විස්තර කරන්න මම හිතුවා. පළවෙනියට තෝරාගත්තේ ධම්මානුපස්සනා භාවනාව. විදර්ශනා භාවනා මුලිකව වර්ග වෙන්නේ 4කට. කායානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හා වේදනානුපස්සනා. බුදුරජානන් වහන්සේ දේශනා කරපු සියලුම විදර්ශනා භාවනා මේ  හතරට  අයිතියි.

මුලින්ම කියන්න ඕනි දේ තමයි මේ භාවනාව ගැන කියවනවානම් එකදිගට එකපාර කියවන්න.  ධර්මයේ තියෙන වචන වල අර්ථ දැක්වීම් වෙනමත් භාවනාව වෙනමත් දක්වලා තියෙනවා භාවනාව විස්තර කරන  මැදදී වචන වල තේරුම් දාන්න බැරි නිසා. ඒ වගේම එකම වචනෙ විවිද ස්ථාන වල යෙදෙන කොට  විවිද අර්ථ එනවා. ඒවත් පැහැදිලිව වෙන් කරලා තියෙනවා. ධර්ම දැනුමක් නැති කෙනෙක්ට එකපාරට භාවනාව කියෙවුවට කිසි දෙයක් නොතේරෙන නිසා වචන වල තේරුම් හා සංකල්ප මුලින්ම පැහැදිලි කරලයි භාවනාව විස්තර කරන්නේ.

ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් තිබෙනවා.


1.කාමච්ඡන්ද ව්‍යාපාද , ථීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා කියන නීවරණ ධර්ම අරමුණු කර ගෙන කරනු ලබන භාවනාව

2.රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංචස්කන්ධ පිළිබඳ භාවනාව

3.ඇස, කන, නාසය , දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ද ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදි අරමුණු නිසා ඇතිවන සංයෝජන ධර්මයන්ද අළලා කරන භාවනාව

4.සත්ත බොජ්ඣංග භාවනාව

5.දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ථ සත්‍යය යන චතුරාර්ය සත්‍යයන් පිළිබඳ භාවනාව
මේ පොස්ට් එකේ තියෙන්නේ ආයතන භාවනාවයි ස්කන්ධ භාවනාවයි

ධම්මානුපස්සනාවේදී මුලින්ම දැනගත යුතු දේ තමයි සත්වයෙක්, පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ වලින් කියන දේ. මොනවද පංච උපාදානසකන්ද කියන්නේ? නම ගොඩක් බර උනාට සරල අදහසක් තියෙන්නේ. සත්වයා විදියට අපි මනුස්සයෙක් තෝරාගමු. මනුස්සයෙක්ව කොටස් කරනකොට ඉස්සෙලාම කොටස් කරන්න පුළුවන් කය හා මනස කියලා 2කට. කයට කියන්න පුළුවන් තවත් නමක් තමයි රුපය කියන්නේ. මේ කියන්නේ ඇස වලින් දකින රූප නෙවෙයි .ධර්මයේදී රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හටගත් දේ කියන අර්ථයෙන්.
සිත වෙන් කරන්න පුළුවන් කොටස් 4කට. ඒවා තමයි වේදනා සංඥා , සංඛාර , විඥ්ඥාන කියන හතර. සිත කියන දේ අපිට එකපාරට වස්තුවක් දෙයක් වගේ හිතුනට ඇත්තටම හිත කියන්නේ ක්‍රියාවලියක් .උදාහරණයක් විදියට ගඟක් වගේ. අපි ගඟ කියල කියන දේ ස්ථිරව තියෙන වස්තුවක් වගේ නමක් කිවුවට ඇත්තටම ගඟ හැම තත්පරෙකම වෙනස් වෙනස් වෙනවා. එතන තියෙන්නේ වතුර ගලා යාමේ ක්‍රියාවලියක්. වතුර ටැංකියක එහෙම වෙනස් වීමක් නෑ. ගලා යන ගඟ වගේ තමා හිතත් .හිතේ වෙනස් වෙන ක්‍රියාවලි 4ක් තියෙනවා. මේ හතරේ එකතුවට තමා හිත කියන්නේ. ඒ හතර තමයි වේදනා සංඥා සංඛාර විඥ්ඥාන කියන්නේ. ඉතින් මේ හිතේ කොටස් 4 හා කයට තමා  පංච උපාදානස්කන්ද කියන්නේ.

පංච කියන්නේ පහ කියන එක. "උපාදානස්කන්ද" කියන  එකේ තේරුම දැනට "ගොඩවල්" කියල හිතන්න. අපි ඉස්සෙල්ලම ගත්තේ සිත කය කොටස් 2. පස්සේ සිත බෙදුව තවත් කොටස් 4කට. කය හා හිතේ කොටස් හතර ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥ්ඥාන කියන 5 තමයි පංච උපාදානස්කන්දය කියන්නේ.

වේදනා කියන්නේ විඳීම් වලට. විඳීම් ආකාර 3ක් තියෙනවා සුඛ දුක්ඛ උපේක්ඛා කියල. සිංහලෙන් කියනවනම් සැප දුක් උපේක්ෂා. අපි කැමති ජාතියේ රුපයක් ඇස් වලින් දැක්කොත් අපිට සුඛ විඳීමක් ඇතිවෙනවා. අපි අකමැති දෙයක් දැක්කොත් දුක් විඳීමක් ඇතිවෙනවා. මෙතනදී දුක කියන්නේ හිතට දුක හිතෙන දුක විතරක්ම නෙවෙයි. අපි කැමති කෙනෙක්ට කරදරයක් වෙලා තියෙනවා දැක්කොත් අපිට දුක හිතෙනවා. තරහකාරයෙක්ව දැක්කොත් අපිට අපහසුතාවයක් ඇති වෙනවා.මේකත් දුක් විඳීමක්. බල්ලෙක්ගෙ ජරා ගොඩක් දැක්කොත් අප්‍රසන්න ගතියක් ඇතිවෙනවා.මේකත් දුක් විඳීමක්. සිතට සතුටක් සහනයක් ප්‍රසන්න කමක් ඇතිවෙන සියලුම විඳීම් සුඛ විඳීම්. හිතට දුක තරහ අසහනය අප්‍රසන්න බව ඇතිවෙන සියලුම විඳීම් දුක්ඛ විඳීම්. අපි ගහක් දැක්කම පාරක් දැක්කම බිත්තියක් දැක්කම අපිට සුඛ වේදනාවක්වත් දුක්ඛ වේදනාවක්වත් අතිවෙන් නෑ. මේ වෙලාවේදී ඇතිවෙන සුඛත් නොවෙන දුකත් නොවෙන විඳීම් වලට තමා උපේක්ඛා විඳීම් කියන්නේ. මේ විදියට ඇස කන නාසය දිව ශරීරය මනසට ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු නිසා හිතේ ඇතිවෙන සුඛ දුක්ඛ උපේක්ෂා විඳීම් වලට තමා වේදනා කියන්නේ.

සංඥා කියන්නේ හඳුනාගැනීම්. අපි ඇස් වලින් අපේ ගෙදර කෙනෙක්ව දැක්කම ඉස්සෙලාම ඒ මනුස්සයෙක් කියල අදුරගන්නවා. ඊට පස්සේ ඒ අපි අඳුරන කෙනෙක් කියල අදුරගන්නවා. ඊට පස්සේ ඒ අපේ අම්මා තාත්තා හෝ කවුරුහරි කියල අදුරගන්නවා. අපි වාහනයක් දැක්කම ඒක වාහනයක් ඒක වෑන් එකක් ඒක නිල් පාටයි ඒක අලුත් එකක් ආදී විදියට අදුරගන්නවා. අපිට සද්දයක් ඇහුණාම මේ බල්ලෙක් මේ බස් එකක් මේ වයලින් එකක් මේ වයසක කටහඬක් ආදී විදියට අදුරගන්නවා. මේ වගේ ඇස කන නාසය දිව ශරීරය මනසට ලැබෙන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු හඳුනාගැනීම තමා සංඥා කියන්නේ.

සංඛාර කියන්නේ සිතුවිලි පහල කිරීම්. උදාහරණයක් විදියට අපි කැමති ජාතියේ වාහනයක් දැක්කොත් ඒක ගන්න ඕනි කියල හිතල ඒ ගැන හීන මැවීම්, අපේ පරණ යාලුවෙක් දැක්කොත් එයා එක්ක හිටපු කාලේ කරපු දේවල් මතක් කිරීම, අපි අකමැති සින්දුවක් ඇහුනොත් ඒකෙ ගුණ අගුණ ගැන හිතින් විචාර කිරීම, රස කෑමක් කෑවොත් ඒක හදල තියෙන විදිය ගැන කල්පනා කිරීම වගේ සියලුම ආකාරයේ සිතුවිලි පහල කිරීම් තමා සංඛාර කියන්නේ. සමහර තැන් වලදී සංඛාර වෙනුවට චේතනා කියන නමත් භාවිතා කරලා තියෙනවා. දෙකම එකයි. දෙකේම අර්ථය සිතුවිලි පහල කිරීම චේතනා පහලකිරිම කියන දේ.

විඥ්ඥාන කියන්නේ යම් දෙයක් දැනීමේ හැකියාව, යම් අරමුණක් අදුරගැනීමේ හැකියාව. ඇහෙන් රූප දැකීමේ හැකියාව, කනෙන් ශබ්ද අහිමේ හැකියාව, නාසයෙන් ගඳ සුවද දැනීමේ හැකියාව, දිවෙන් රස දැනීමේ හැකියාව, කයෙන් පහස විදීමේ හැකියාව, මනසින් අරමුණු දැනගැනීමේ හැකියාව කියන 6 තමා විඥ්ඥාන කියන්නේ. ඉන්ද්‍රියන් 6දි හය ආකාරයකට ක්‍රියාත්මක උනත් විඥ්ඥානයේ මුලික ස්වභාවය තමයි අරමුණක් දැනගැනීමේ ස්වභාවය. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දැනීමේ හැකියාවල් තියෙන්නේ ඇස කන නාසය ආදිය තුලනේ කියලා. ඒක වැරදියි. මැරුණු මිනිහෙක්ගේ ශරීරයේ ඇස් තියෙනවා.ඒත් ඒවාට රූප දැකීමේ හැකියාවක් නෑනේ. ඒ නිසා මේ දැනීමේ හැකියාව කියන්නේ සිතේ කොටසක්. ඒ වගේම තමයි විඥ්ඥානය ආකාර 6ක් තියෙනවා ඉන්ද්‍රිය 6 අනුව. ඇසට රුපයක් දැක්කම එක දැකීමේ හැකියාවක් තියෙනවා. ඒත් කන ඉස්සරහින් රූප තිබුනට කනට රූප දකින්න බෑ. ඒ නිසා ඇසෙ පහල වෙන විඥ්ඥානය කනේ පහල වෙන විඥ්ඥානයට වඩා වෙනස්.

ඒ කතාකලේ හිත ගැන. හිත වෙන් කළා වේදනා සංඥා සංඛාර විඥ්ඥාන කියල 4කට.  කය හෙවත් රූප කියලා කියන්නේ (රුප්පතීති රූපං) නැසී වැනසී යනවා කියන අර්ථයෙන්. මොනවද මේ නැසී වැනසී යන දේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේවල්. නැසී වැනසී යන්නේ කොහොමද මේවා. සීතලෙන් නැසී වැනසී යනවා. උණුසුමෙන් නැසී වැනසී යනවා. බඩගින්නෙන් නැසී වැනසී යනවා. පිපාසයෙන් නැසී වැනසී යනවා. අතුරු ආන්තරා වලින් නැසී වැනසී යනවා. රෝග පීඩා වලින් නැසී වැනසී යනවා. ඒ නිසා සතර මහා ධාතූන්ගෙන් හටගත්තු මේ ශරීරයට කියන නමක් රූප. රූප (කය) වෙන් කරන්න පුළුවන් කොටස් 4කට .ඒවා තමයි පඨවි ආපෝ  වායෝ තේජෝ. ඒ කියන්නේ ඝන ද්‍රව වායු හා උණුසුම. දැන් නිකන් පටලැවිල්ලක් වගේ ඇති තේජෝ කියන එක කොහොමද මෙතනට සම්බන්ද වෙන්නේ කියලා. මෙතන කොටස් කරලා තියෙන්නේ කයේ තියෙන ස්වභාව මිසක් පදාර්ථය පවතින ආකාර නෙවෙයි. ඒ නිසා ස්කොලේ උගන්වන සයන්ස් මෙතනට අදාළ කරගන්නෙපා.
පඨවි කියන කොටසට අයිති වෙන්නේ ශරීරයේ තියෙන ඝන කොටස් : කෙස් ලොම් නිය දත් සම  ඇට මස් නහර බඩවැල් ආමාශය නහර  පෙනහළු  වකුගඩු මොළය ඇස් කන් නාසය දිව වගේ සියලුම දේ.

ආපෝ කියන්නේ ශරීරයේ තියෙන ද්‍රවමය ස්වභාවයෙන් යුක්ත දේවල්. ලේ, සෙම, සොටු, දහඩිය, පිත, සැරව,තෙල්මන්දය ,කඳුළු ,මුත්‍ර ,මොළය හා සුෂුම්නාව වටා තියෙන තරලය ආදිය.

වායෝ කියන්නේ ශරීරයේ තියෙන වාතය. හුස්ම ගන්න හා පිටකරන වාතය, ආමාශය තුල තිබිල උගුරට එන වාතය, බඩවැල් වල තිබිල පිටවන අධෝවාතය, ඉන්ද්‍රියන් අතර තියෙන වාතය ආදිය.

තේජෝ කියන්නේ ශරීරය තුල තියෙන උණුසුම් ගතිය. ආහාර දිරවන උණුසුම, සම පුරා තිබෙන උණුසුම, ලේ කඳුළු මුත්‍ර වල තිබෙන උණුසුම ආදිය.

මේ වෙනකම් කියපු දේවල් කෙටියෙන් කියනවනම් අපි ඕනෑම කෙනෙක් හැදිලා තියෙන්නේ පංච උපාදානස්කන්දයකින්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥ්ඥාන කියන පහෙන්. පංච උපාදානස්කාණ්ඩයේ පලවෙනි දේ රූප. රූප කියන්නේ කයට .  රූපයේ කොටස් 4ක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියල (ඝන ද්‍රව වායු හා උණුසුම) . සිතේ කොටස් 4ක් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥ්ඥාන කියලා. (විඳීම්, හඳුනාගැනීම්, සිතුවිලි පහල කිරීම් හා අරමුණු දැනගැනීම)

ඉතින් හිතල බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය තුල අඩුපාඩුවක් තියෙනවද? පඨවි ආපෝ වායෝ තේජෝ නොවෙන කිසිම දෙයක් අපේ කයේ තියෙනවද?
විඥ්ඥාන සංඥා වේදනා සංඛාර නොවෙන කිසිම දෙයක් හිතේ තියෙනවාද?

දැන් බලමු  උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියල

පංච ස්කන්ධය – පංච උපාදාන ස්කන්ධය අතර වෙනස
රූප ස්කන්ධයෙ වචනයක් තියෙනව ස්කන්ධ කියල. ස්කන්ධ කියල කියන්නේ රූප ගොඩක් කියන අර්ථය නෙවෙයි.
මහා පුණ්ණමා කියල සූත‍්‍ර දේශනාවක් තියෙනවා. දවසක් පෝය දවසක පූර්වාරාමයේ එළිමහනේ වැඩසිටිද්දී බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩසිටිය වෙලාවක, රහතන් වහන්සේලා පිරිවරාගෙන හිටිය වෙලාවක එක ස්වාමීන් වහන්සේ නමක් ”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම ප‍්‍රශ්නයක් අහන්නද?” කියල ඇහුවා. ”පින්වත් භික්ෂුව, ඔබ ඉන්න තැනම ඉඳගෙන ප‍්‍රශ්නය අහන්න. පිළිතුරු දෙන්නම්” කියල බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න.
ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ අහනවා ”භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පංච උපාදාන ස්කන්ධයේ ස්කන්ධ කියල වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ස්කන්ධ කියන වචනයේ නියම අර්ථය මොකක්ද?” කියල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ”පින්වත් භික්ෂුව, අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද, හට නොගත් අනාගතයේ යම් රූපයක් ඇද්ද, හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද, තමාගේ යැයි සලකන සතර මහා ධාතූන්ගෙන් හටගත් යමක් (රූපයක්) ඇද්ද, අනුන්ගේ යැයි සලකන සතර මහා ධාතූන්ගෙන් හටගත් යමක් (රූපයක්) ඇද්ද, ගොරෝසු ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, සියුම් ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, හීන වූ රූපයක් ඇද්ද, ප‍්‍රණීත වූ රූපයක් ඇද්ද, දුර පවතින රූපයක් ඇද්ද, ළඟ පවතින රූපයක් ඇද්ද මෙන්න මේකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියල.”
කාලය හා අවකාශය අතර පැවැත්ම…
එතකොට ස්කන්ධය කියන වචනය යෙදුවේ ඔන්න ඕකටයි. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්ම (තමා තුළ), බාහිර (තමාගෙන් පිට), ගොරෝසු, සියුම්, හීන, ප‍්‍රණීත, දුර, ළඟ යම් රූපයක් ඇද්ද, අන්න ඒකට කියනව රූප ස්කන්ධය කියල. එතකොට ස්කන්ධ කියල කිව්වේ ගොඩකට කියන අර්ථය නෙවෙයි. අතීත, අනාගත, වර්තමාන කියන කාලයත්, ආධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප‍්‍රණීත, දුර, ළඟ කියන අවකාශයත් කියන මේ දෙක තුළ පවතින දේට තමයි ස්කන්ධය කියල කිව්වේ.
එතකොට සතර මහා ධාතූන් තුළ පවතින රූපය ඒ කාලයත් අවකාශයත් තුළ පවතිනවා. ඒ නිසා කියනවා රූප ස්කන්ධය කියල. ඒ නිසා දැන් මේ කාලයත්, අවකාශයත් තුළ පවතින ඊට අයත් රූපයක් තමයි මේ ශරීරය තුළ තියෙන්නෙ. ඒ නිසා මේකට රූප ස්කන්ධය කියල කියනවා.

මේ පංච උපාදාන ස්කන්ධයට ඇලී ගැලී වාසය කරන නිසා, මේ පංච උපාදාන ස්කන්ධයට ඇලී ගැලී වාසය කරනවා කියන අර්ථයෙන් පුද්ගලයාට සත්වයා කියල කියනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරලා මේ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වුණොත්, ඒ කෙනාට පංච උපාදාන ස්කන්ධයක් නෑ. පංච ස්කන්ධයක් තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය සත්වයාට තියෙන්නේ පංච ස්කන්ධයක් නෙවෙයි. පංච උපාදාන ස්කන්ධයක්. රහතන් වහන්සේලාට පමණයි පංච ස්කන්ධයක් තියෙන්නේ.
පංච ස්කන්ධයයි, පංච උපාදාන ස්කන්ධයයි අතර වෙනස තමයි, පංච උපාදාන ස්කන්ධය කියන්නේ ඡන්ද රාගයෙන් යුක්ත වූ, ආසාවකට බැඳිච්ච පංච උපාදාන ස්කන්ධය. අසාවෙන් නිදහස් වෙච්ච ගමන් එයාගේ උපාදාන නෑ. පංච ස්කන්ධය විතරයි තියෙන්නේ.
දැන් තමයි අපි භාවනාවට එන්නේ. භාවනාවේදී කරන්නේ පංච උපාදානස්කන්දයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කිරීම. මුලින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොනවද කියල තෙරුම්ගමු.

අනිත්‍ය කියන්නේ වෙනස් වීම. අපි ඇස ගැන හිතුවොත් ඇස හටගන්නේ ආහාර නිසා . ආහාර නැති උනොත් ඇස නැතිවෙනවා. ඒ වගේම ඇස උපතේ සිට විවිද වයස් සිමා පහු කරන් වයසට යනකන් නිතරම වෙනස් වෙනවා. පොඩි කාලේ තියෙන ඇස නෙවෙයි තරුණ කාලේ තියෙන්නේ.තරුණ කාලේ තියෙන ඇස නෙවෙයි වයසක කාලේ තියෙන්නේ. ඇසෙ මේ වෙනස් වීම නිසා අපිට දුක ඇතිවෙනවා. ඇසට ලෙඩ හැදුනාම අපි දුක් වනවා, ඇස් පෙනීම දුර්වල වීගෙන යනකොට අපිට දුක ඇතිවෙනවා, ඇසට හානි තුවාල උනාම අපිට දුකක් ඇතිවෙනවා. ඒකට තමයි දුක්ඛ කියන්නේ.
අනාත්ම කියන්නේ තමන්ගේ වසඟයේ පවත්වන්න බැරි කම. අනාත්ම කියන්නේ අන+ආත්ම කියන දේ. මෙතැනදී ආත්මයි කියන්නේ භවය, උපත , ජීවිතය කියන අර්ථය නෙවෙයි. මෙතැනදී ආත්ම ස්වභාවය කියන්නේ තමන්ට අවශ්‍ය ලෙස පවත්වන්න පුළුවන් කියන අර්ථය. ඇස අනිත්‍ය වෙන්නේ ලෙඩ වෙන්නේ වයසට යන්නේ අපිට ඇස පාලනය කරන්න බැරි නිසා. ඇස මගෙනම් මට අවශ්‍ය විදියට පාලනය කරන්න පුලුවන්නම් මට පුළුවන් වෙන්න ඕනි ඇස වයසට නොයා තියාගන්න, ඇස  ලෙඩවීමෙන් වලක්වගන්න. ඒත් අපිට එහෙම කරන්න බෑ.  ඇස අපේ පාලනයෙන් තොරව අනිත්‍ය බාවයටත් දුක් උපදවන ස්වභාවයටත් පත්වෙනවා. මේක තමා අනාත්මයි කියන්නේ. හේතුන් නිසා හටගන්නා සියලු දේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත් වෙනවා.

ඇස හටගන්නේ ආහාර නිසා, ඇසට පෙනෙන රූප හටගන්නේ විවිද හේතු නිසා (ඇසට පෙනෙන මනුෂ්‍යයන් හටගන්නේ ආහාර, කර්මය, නිසා / ඇසට පෙනෙන ගස් වැල් හටගන්නේ බිජ, හිරු එලිය, ජලය, පස නිසා)  ඇස ඉදිරියෙන් රුපයක් තිබුනම ඇසෙ විඥ්ඥානය හටගන්නවා. විඥ්ඥානය ඇතිවෙන්නේ ඇසයි රුපයයි නිසා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන විඥ්ඥානය හටගන්නේ ඉන්ද්‍රියයි අරමුනයි නිසා.  ඇස වෙනස් උනොත් (වයසට ගියොත්) විඥ්ඥානය වෙනස් වෙනවා. එකම රුපය පොඩි කාලේදී හා වයසක කාලේදී දකිද්දී දකින්නේ දෙවිදියකට. රූපය වෙනස් උනොත් ඒත් විඥ්ඥානය වෙනස් වෙනවා.
ඇසයි රුපයයි විඥ්ඥානයයි 3 එකතුවීමට කියන්නේ ඇසෙ ස්ඵර්ශය කියලා. ස්ඵර්ශය සිදු උන වෙලාවට තමා රුපයක් පේන්නේ. ඇසයි රුපයයි තිබුනත් විඥ්ඥානය තියෙන්නේ අතීත මතකයක් තුලනම් (මනෝ පාරක් ගහමින් ඉන්නවනම්) ඇස ඉදිරියෙන් තියෙන රුපය පේන්නේ නෑ. ස්ඵර්ශය ඇතිවෙන්නෙ හේතු නිසා. ඒ හේතු තමයි ඉන්ද්‍රිය, අරමුණ හා විඥ්ඥානය. මේ 3න් එකක් හෝ නැති උනොත්, වෙනස් උනොත් ස්ඵර්ශය නැතිවෙනවා, වෙනස්වෙනවා. ඇසයි රුපයයි විඥ්ඥානයයි එකතු වීම නිසා (ස්ඵර්ශය නිසා) වේදනාව, සංඥාව, සංඛාර ඇතිවෙනවා. ඇස රුපයක් දැක්කම රුපය හඳුනාගන්නවා, රුපය ප්‍රියජනකනම් සුඛ වේදනාවක් ඇතිවනවා, දකින රුපයට අනුව සිතුවිලි පහල වෙනවා.
මේ සියල්ල ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් 6 තුළම වෙනවා.

දැන් පැහැදිලි කරන්න ඕනි හැමදේම පැහැදිලි කරලා ඉවරයි. දැනුයි භාවනාවට එන්නේ .මේ  විදියට හිතමින් භාවනා කරන්න-

මේ ඇස හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇස මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හෙයින් ,නිතර වෙනස් වෙන හෙයින්, හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
ඇසට රූප පෙනෙන විට ඇසෙ ඇතිවෙන විඥ්ඥානය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍යයි. ඇසෙ ඇතිවෙන විඥ්ඥානය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
ඇසයි රූපයයි විඥ්ඥානයයි එකතු වී ඇතිවෙන ඇසේ ස්ඵර්ශය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්ඵර්ශය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
ඇසෙ ස්ඵර්ශය නිසා ඇතිවන හඳුනාගැනීම් ( සංඥාව) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඥාව මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
ඇසේ ස්ඵර්ශය නිසා ඇතිවන විඳීම්(වේදනා) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඳීම් මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
ඇසේ ස්ඵර්ශය නිසා ඇතිවන සිතුවිලි (සංඛාර) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සිතුවිලි මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.

මේ කන හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කන මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හෙයින් ,නිතර වෙනස් වෙන හෙයින්, හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
කනට ශබ්ද ඇසෙන විට කනේ ඇතිවෙන විඥ්ඥානය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍යයි. කනේ ඇතිවෙන විඥ්ඥානය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
කනයි ශබ්දයයි විඥ්ඥානයයි එකතු වී ඇතිවෙන ස්ඵර්ශය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්ඵර්ශය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
කනේ ස්ඵර්ශය නිසා ඇතිවන හඳුනාගැනීම් ( සංඥාව) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඥාව මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
කනේ ස්ඵර්ශය නිසා ඇතිවන විඳීම්(වේදනා) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඳීම් මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
කනේ ස්ඵර්ශය නිසා ඇතිවන සිතුවිලි (සංඛාර) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සිතුවිලි මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.

මේ විදියට නාසය , දිව ,ශරීරය ගැනත් හිතමින් භාවනා කරලා හිත ගැනත් පහත ආකාරයට භාවනා කරන්න

මේ හිත හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හිත මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
හිතට එන සිතුවිලි හේතුන් නිසා හටගත් හෙයින් ,නිතර වෙනස් වෙන හෙයින්, හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි. හිතට එන සිතුවිලි මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
හිතට සිතුවිලි එන විට සිතේ ඇතිවෙන විඥ්ඥානය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍යයි. සිතේ ඇතිවෙන විඥ්ඥානය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
සිතයි සිතුවිලියි විඥ්ඥානයයි එකතු වී ඇතිවෙන ස්ඵර්ශය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්ඵර්ශය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
සිතේ ස්ඵර්ශය නිසා ඇතිවන හඳුනාගැනීම් ( සංඥාව) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඥාව මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
සිතේ ස්ඵර්ශය නිසා ඇතිවන විඳීම්(වේදනා) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඳීම් මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
සිතේ ස්ඵර්ශය නිසා ඇතිවන සිතුවිලි (සංඛාර) හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සිතුවිලි මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.

*මෙතනදී සිතයි විඥ්ඥානයයි සිතුවිලියි පටලගන්නෙපා. මෙතැනදී හිත සලකන්නේ ඉන්ද්‍රියක් විදියට , ආයතනයක් විදියට. ධර්මයේදී  ඉන්ද්‍රියක් ආයතනයක්  කියන්නේ යම්කිසි අරමුණු වර්ගයක් දැනගත හැකි දෙයකට. ඇසට රූප දැනගන්න පුළුවන්, කනට ශබ්ද දැනගන්න පුළුවන්. ඒ වගේ හිතට සිතුවිලි දැනගන්න පුළුවන්.
ඒ වගේම මෙතන සිතයි විඥ්ඥානයයි කියන්නේ එකක් නෙවෙයි මම කලින් පැහැදිලි කළා. විඥ්ඥාන කියන්නේ දැනීමේ හැකියාව. සිතේ විඥ්ඥානය කියන්නේ සිතුවිලි දැනගැනීමේ හැකියාව.
හිතට අතීතය ගැන මතක සිතුවිල්ලක් ආවම අපි ඒ ගැන සිතුවිලි පහල කරමින් හිතනවා, අනාගතය ගැන සිතුවිල්ලක් ආවොත් ඒ ගැන හිතමින් සිතුවිලි පහල කරනවා, වර්තමානයට අදාළ දේ ගැනත් සිතුවිලි පහල කරනවා. මේවා තමා සිතුවිලි නිසා ඇතිවන සංඛාර. ඒ කියන්නේ සිතුවිලි නිසා ඇතිවෙන සිතුවිලි. මේ දේවල් පටලගන්නෙපා.

*මගේ ආත්මය නොවේ කියන එකේ තේරුම මට අවශ්‍ය විදියට පවත්වන්න නොහැකියි කියන එක.

මේ විදියට ටික දවසක් භාවනා කරලා උපාදාන ස්කන්ධ ගැන මේ විදියට භාවනා කරන්න.

රූප උපාදාන ස්කන්ධය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. රූප උපාදාන ස්කන්ධය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.
 (රූප කියන්නේ ඇහැට පේන රූප නෙවෙයි පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හටගත් දේ.) (රූප  ස්කන්ධය කිවුවම  අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්ම (තමා තුළ), බාහිර (තමාගෙන් පිට), ගොරෝසු, සියුම්, හීන, ප‍්‍රණීත, දුර, ළඟ සියලුම රූප අයිතියි. උපාදාන ස්කන්ධ කියන දේ තේරුම හොදින් හිතමින් භාවනා කරන්න. )
විඥ්ඥාන උපාදාන ස්කන්ධය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඥ්ඥාන උපාදාන ස්කන්ධය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.

සංඥා උපාදාන ස්කන්ධය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඥා උපාදාන ස්කන්ධය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.

වේදනා උපාදාන ස්කන්ධය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. වේදනා උපාදාන ස්කන්ධය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.

සංඛාර උපාදාන ස්කන්ධය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඛාර උපාදාන ස්කන්ධය මම නොවේ මගෙ නොවේ මගෙ ආත්මය නොවේ.

මේක තමා ධම්මානුපස්සනවේදී කරන්නේ. භාවනාව විතරක් දැම්මට තේරුමක් නැති නිසයි මුලදී අවශ්‍ය හැමදේම විස්තර කලේ. අපිට අපිව, අනිත් මිනිස්සුන්ව, වාහන ගෙවල් ආදී හැමදේම පේන්නේ වෙනස් නොවෙන දේවල් විදියට. වස්තුන් විදියට. ඒත් ඇත්තටම සියලුම ජීවින් හා සියලුම වස්තුන් නිතරම වෙනස් වේවි පවතින ක්‍රියාවලි ගොඩක එකතුන් විතරයි. ස්ථිර දෙයක් නෑ. අපි මම කියල හිතන් ඉන්නේ ස්ථිර එක පුද්ගලයෙක් කියල හිතන් හිටියට මම කියල කියන්නේ නිතරම වෙනස් වෙන රූප වේදනා සංඥා සංඛාර විඥ්ඥාන ගොඩක එකතුවක්. මේසයක කකුල් ගලවල ලෑලි වෙනම ගලවල තිබ්බම එතන මේසයක් නෑ. මේසයක් තියෙනවා පේන්නේ ලෑලි, කකුල් එකට සවි කරලා තිබුනාම. මේ වගේ අපිට මම කියල සංකල්පයක් හිතේ ඇතිවෙන්නේ මම කියන දේ තුල තියෙන පංච උපාදානස්කන්ධය වෙන් වෙන් විදියට නොපෙනෙන නිසා. විදර්ශනා වැඩීමෙන් කරන්නේ එකක් වගේ පේන දෙය කොටස් වලට කඩලා නිතර වෙනස් වෙන දේවල් ගොඩක් බව පෙන්වන එක. ඒකට තමා සම්මා දිට්ඨිය කියන්නේ. ස්ථිර එක දෙයක් කියල හිතන දේ තුල ඇත්තටම තියෙන්නේ විවිද දේවල් ගොඩක වෙනස් වේවි පැවතීමක් බව තේරුනාම(අවිද්‍යාව නැතිවී විද්‍යාව ඇති උනාම) ස්ථිර එක දෙයක් කියල හිතන් හිටපු " මම " ගැන තියෙන ආශාව බන්ධනය නැතිවෙලා යනවා. ආශාව තියෙන්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ ආශාව තියෙන්නේ ස්ථිර දෙයක් වෙනස් නොවෙන දෙයක් තියෙනවා කියල හිතෙන නිසා. ආශාව තියෙන්නේ නිත්‍ය දෙයක් සුඛ දෙයක් ආත්ම දෙයක් කියල හිතෙන නිසා. ඒත් ඇත්තටම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් ගොඩක එකතුවක් කියල තේරුනාම ආශාව නැතිවෙනවා. මොකද වෙනස් වෙන දෙයකට දුක උපදවන දෙයකට තමන්ට ඕනි විදියට පවත්වන්න බැරි දෙයකට අපි ආශා කරන්නේ නෑ. මේ නිසා තමයි තණ්හාව(ආශාව) අවිද්‍යාව නිසා ඇතිවෙනවා, අවිද්‍යාව නැති වීමෙන් තණ්හාව නැතිවෙනවා කියන්නේ.


 "මට මා හමු උන දින ඔබට  මා හමු නොවනු ඇත" කියල තියෙන  පොස්ට්  එක ලගදි fb එකේ ගොඩක් අය ශෙයා කළා. හැබැයි ඒ අයගෙන් කි දෙනෙක් එකේ තේරුම දන්නවද දන්නේ නෑ. මට මා හමුවෙනවා කියන්නේ මම කියල දෙයක් නෑ ,තියෙන්නේ වෙනස් වේවි පවතින දේවල් ගොඩක එකතුවක් විතරයි කියල තේරෙන එක. ඒක හරියටම තේරෙනවනම් සක්කාය දිට්ඨිය නැතිවෙලා යනවා. මේ විදියට දස සංයෝජන නැති උනාම රහත් බාවයට පත් උනාම බාහිර ලෝකය එක්ක තියෙන සම්බන්ධතා නැතිවනවා. මොකද "මම" නැත්තම් වෙන කෙනෙක් සමග සම්බන්දතා පැවැත්වීමේ අවශ්‍යතාවක් නෑ. එහෙමත් නැතිනම් පිරිනිවන් පානවා. එතකොට කලින් ඉදපු පුද්ගලයා තවදුරටත් මේ ලෝකේ නෑ. ඒ වගේමයි සත්‍යාවබෝධ කලාට පස්සේ පරණ යාලුවෙක්ට එයාව හම්බුනොත් ඒ හම්බවෙන්නේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි. පරණ කෙනා තුල හිටපු "මම " අලුත් කෙනා තුල නෑ. මොකද මම කියන සංකල්පය හිතේ නැති නිසා. මේක තමයි මට මා හමු උන දවසට ඔබට මා හමු නොවනු ඇත කියන්නේ.

විදර්ශනා භාවනාව වඩනවානම් කාටවත් තමන්ගේ මමත්වයෙන් අල්ලලා නටවන්න බෑ. අපි දන්නැති උනාට අපිව ගොඩක් අය නටවනවා. "පිරිමියෙක්නම් මේක කරලා පෙන්නපන්" "කොන්දක් තියෙනවනම් මේක කරපන්" "ඔයානම් හරිම නිහතමානී කෙනෙක්" "ඔයා හරිම ලස්සනයි" වගේ ප්‍රකාශ වලට අපි නොකරන දේවල් පවා කරන්න අපිව පෙලබෙන්නේ අපි නොදැනුවත්වම ඒ ප්‍රකාශ වලින් අපේ හිතේ තියෙන මමත්වයට රිදෙන නිසා. අපි "මට" තියෙන වටිනාකම අඩුවෙනකොට තරහගන්නේ , වටිනාකම වැඩිවෙනකොට සතුටු වෙන්නේ මේ මමත්වය නිසා.

මම කියල කෙනෙක් ඉන්නවා නෙවෙයි. මම කියල කෙනෙක් ඉන්නවා වගේ පේනවා. මම කියල කෙනෙක් ඉන්නවා වගේ පෙන්නේ පංච උපාධානස්කන්ධය වෙන් කරලා දකින්න හිත සියුම් නැති නිසා. උදාහරණයක් විදියට අපේ ඇහැට එක ළඟ තියෙන තිත් 2ක් වෙන් කරලා දකින්න පුළුවන් වෙන්නේ ඒවා අතර දුර අවමයෙන් 1mm උනොත් විතරයි. ඊට වඩා අඩු දුරක් සහිතව තිත් දෙකක් ඇන්දොත් ඇස් වලට එතන තිත් දෙකක් තියෙනවා වහේ පෙන්නේ නෑ. පෙන්නේ එක ලොකු තිතක්  තියෙනවා වගේ. මේ විදියට 1mm ට අඩු දුරින් තිත් ගොඩක් ඇන්දොත් ඒක තිත් ගොඩක් වගේ නෙවෙයි පෙන්නේ ඉරක් වගේ. අපිට පංච උපාදානස්කන්ධය වෙන් වෙන් දේවල් පහක් වගේ නොපෙනී ඒක පුද්ගලයෙක් වගේ පේන්නෙත් මේ නිසා. පංච උපාධානස්කන්ධය වෙන් වෙන තැන අදුරගන්න තරම් සිහිය දියුණු කරලා නැති නිසා.

අපිට නිත්‍ය දෙයක් තියෙනවා වගේ පෙනන්නේ අපේ මනසේ හා කයේ වෙනස් වීම් දකින්න තරම් හිත වේගවත් නැති නිසා සියුම් නැති නිසා. චිත්තානුපස්සනාව හා වේදනානුපස්සනා භාවනා ගැඹුරට කලාම සිතුවිලි වෙනස් වෙන වේගය දකින්න පුළුවන් වෙනවා. අපි කයේ අනිත්‍ය තේරුම්ගන්නේ වයසට යාම ලෙඩ වීම වගේ දේවල් වලින් .එත් විදර්ශනා ගැඹුරට වැඩුවාම අපේ ශරීරයේ සෛලීය මට්ටමේ වෙනස් වීම් පරමාණුක මට්ටමේ වෙනස් වීම් පවා පෙනෙන්න ගන්නවා. මේවට තමා රූප කලාප ඇතිවෙනවා නැතිවෙනවා පෙනෙනවා කියන්නේ. මේ තත්වයට ආවම මනුස්සයෙක් දිහා බැලුවත් එතන පුද්ගලයෙක් ඉන්නවා වගේ පෙනෙන්නේ නෑ එයාගේ ශරීරයේ පරමාණුක මට්ටමේ වෙනස් වීම් සිදු වේවි තියෙන හිසේ සිට පතුලට වෙනස් වීම් පිරුණු නිතරම වෙනස් වේවි තියෙන
පංච උපාදානස්කන්ධයක් පෙනෙන්නේ. මේක හිතින් මවාගත් මායාවක් නෙවෙයි. හිතේ දියුණු බව නිසා සාමාන්‍ය ඇසට හා හිතට දකින්න බැරි තරම් වේගවත් ක්‍රියාවලි දැකීමේ හැකියාවක් ඇතිවෙනවා.

අන්තිමට මම කියන්න ඕනි මම මේ සියලුම දේ ඉගෙනගත්තේ ස්කොලේ බුද්ධාගම පොතෙන්වත් දහම්පාසලේ පොත් වලින්වත් නෙවෙයි. මෙච්චර වටිනා දේවල් බුදුදහමේ තිබිලත් ඒවා ගාවලවත් නැති බෞද්ධ අධ්‍යාපනයක් ලංකාවේ තියෙන නිසා තමයි මම මිට කලින් පොස්ට් එකේදී කිවුවේ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය හරිම අසාර්ථකයි කියලා.මම මේ සියලුම දැනුම ලබාගත්තේ පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ පොත් වලින්. ලගදි උන්වහන්සේගේ අසපුවකින් කරපු පළතුරු පුජාවක් ගැන ගොඩක් අය බැන බැන පොස්ට් දැම්මට උන්වහන්සේ තමයි ලංකාවේ හැංගිලා යටවෙලා තිබුන විදර්ශනා භාවනා නැවත ලංකාවේ බහුතරයකට දැනගන්න ලැබෙන විදියට වැඩ කලේ. මිට අමතරව ධම්මසොබාව වගේ ස්ථාන වල නියම විදර්ශනා භාවනා පුරුදු කරනවා. හැබැයි ලොකු පිරිසකට ධර්මය ගලා යන්න අවස්ථාවක් නෑ ඒවයෙන්. මිට අවුරුදු කීපයකට කලින් ලංකාවේ බණ වලට හැමදාම හැමෝම කිවුවේ කරණිය මෙත්ත සුත්‍රය, කාලාම සුත්‍රය වගේ සුත්‍ර 4ක් 5ක් විතරයි. ඥානානන්ද ස්වාමින් වහන්සේ පාලියෙන් පමණක් තිබුන දේශනා සිංහලෙන් ඉගැන්වීම හා මුද්‍රණ කිරීම නිසා තමයි අනිත් ස්වාමින් වහන්සේලාත් එකම බණ ටික නොකියා අලුත් දේශනා කියන රැල්ලක් ඇති උනේ. අද ලංකාවේ ඇතිවෙලා තියෙන ධර්ම ප්‍රමෝදය මුලිකවම පටන්ගත්තේ ඥානානන්ද ස්වාමින් වහන්සේ. ඊට කලින්  රේණුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ ,සෝම හාමුදුරුවෝ වගේ අයත් ඒ කාර්යය කලත් ධර්මය සරල බසින් මිනිස්සු අතරට යවලා මිනිස්සු බහුතරයකට ධර්ම දැනුම ලබාදෙන්න පුළුවන් උනේ ඥානානන්ද ස්වාමින් වහන්සේටයි. ඒ නිසා විවේචනය කරන අය මුලින්ම විවේචනය කරන දේ ගැන හොදින් හොයල බලල ඉන්න සත්පුරුෂයන්ට ගරහල පව් කරගන්නේ නැතුව.

අනිත් කාරණේ තමයි මේ කාලේ පිටිදුවේ සිරිධම්ම වැනි රහත් ප්‍රතිරුපකයන් දැන් අමුතු ක්ෂණික නුඩ්ල්ස් විදර්ශනා ඉගැන්වුවට බුදුරජානන් වහන්සේ සත්‍යාවබෝධ කිරීම පිණිස දේශනා කරපු විදර්ශනා වල සත්‍ය ස්වභාවය මේකයි. ත්‍රිපිටකයේ දේශනා වල තියෙන සත්‍ය ධර්මය මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම විදර්ශනා භාවනා සතර සතිපට්ඨානය තුල තියෙනවා. ඊට අමතරව අනිමිත්ත භාවනාව තියෙනවා. මේවාට අයිති නොවෙන කිසිම භාවනාවකින් මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා විරුපකයන්ගේ බොරු වලට අහුවෙන්න එපා. ධර්මය විදියට අද ඕනතරම් බොරු උගනවනවා. ඒ නිසා අහන බලන දේවල් ඇත්තටම  ත්‍රිපිටක දේශනා වල තියෙනවද බලල හොයල පිළිගන්න. බුද්ධ දේශනා කියල තමන්ට හිතෙන දේ කියන අය උගන්වන දේවල් විශ්වාස කරන්නෙපා. "අලුත් දෙයක්" හැංගිලා තිබුන දෙයක්" වගේ කතා කියන අය විශ්වාස කරන්නෙපා



අනිත් කාරණේ තමයි මේ කාලේ සමහරු බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් සමහර දේවල් පිළිගන්නේ නෑ. අපායවල් ගැන මහා පින්කම් ගැන සිදුහත් කුමාරයා ඉපදුනු ගමන් අවිදපුවා කතාකරපුවා ගැන  පොළවෙන්  නෙලුම් මල් පිපුන ඒවා ගැන ලෝක විනාශයේදී සුර්යයන් 7ක් පායනවා වගේ දේවල් ගැන සමහරුන්ට විශ්වාස නෑ. මේවා පිළිගනිම ශ්‍රද්ධාවට අයිති කොටසක් උනත් මේවා නොපිළිගන්නේ තමන් තුල ප්‍රඥාව නැති නිසා. යම් කෙනෙක්ට විදර්ශනා කරලා  විදර්ශනා ඥාණ පහල වෙලා තියෙනවනම් ප්‍රඥාව ඇතිවෙලා තියෙනවනම් එයාට කවදාවත් බුදුන්ගේ වචන ගැන සැකයක් ඇති වෙන් නෑ මොකද එයාට තේරෙනවා තමන්ගේ පොඩි නුවණට වැටහෙන් නැති අනන්තවත් දේවල් බුදු නුවනට අවබෝධ වෙනවා කියල. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා  පටිච්චසමුප්පාද ධර්මය නුවනින් මෙනෙහි කරලා පුරුදු කරපු කෙනෙක් ඇර වෙනත් කෙනෙක් තමන් වහන්සේගේ වචන පිළිගන්නේ නෑ කියලා.මේ හින්දා තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය දකින කෙනා තමන් වහන්සේව දකිනවා කියලා.  ඒ නිසා කාටහරි බුදු බන විශ්වාස නැත්තම් බුදු බන ෆිල්ටර් කර කර පිලිගන්නවනම් එකෙන් තේරුම් ගන්න තමන් තුල ශ්‍රද්ධාවවත් ප්‍රඥාව වත් නෑ කියල. තේරුම් අරන් අදුරෙන් එලියට එන්න. සතර සතිපට්ඨානය වඩන්න.

18 comments:

  1. @අධිමානසික: මේක මට අැතිවෙච්චි ගැටලුවක්,
    මට සතරසතිපට්ටානයේ කායානුපස්සනා,චිත්තානුපස්සනා & වේදනානුපස්සනාව එකවර කිරීමේ ගැටලුවක් නෑ.නමුත් ධම්මානුපස්සනාව කරන විට එ්ක චිත්තානුපස්සනාවේ අරමුණක් වෙනවා.එ්ක නවත්වගන්නෙ කොහොමද?(මම ගුරුවරයෙක් යටතේ පුරුදුවෙලා නම් නෑ.එ්ක ගැටලුවක්ද?)
    සතරසතිපට්ටානය ගැන කියද්දි කියල තියෙන්නෙ එ්ක ඔ්නෑම අවස්ථාවක කරන්න පුලුවන් කියල නේද? නමුත් රැකියාස්ථානයේදී එ්ක කරන්න බෑ නෙ(පුරුදු මදිකම නිසාද දන්නෙනෑ)

    ReplyDelete
    Replies
    1. 1.චිත්තානුපස්සනාවේ අරමුණක් වෙනවා කියන්නේ ධම්මානුපස්සනාව ගැන සිහිය පිහිටනවා කියන එකනේ. එක ප්‍රශ්නයක් කරගන්නේපා. ධම්මානුපස්සනාව කරන්න.
      2. චිත්තානුපස්සනවයි වේදනානුපස්සනාවයි ගුරුවරයෙක් නැතුව කරන්න බෑ. චිත්තනුපාස්සනාව කියන්නේ හහිතෙන දේවල් ගැන සිහියෙන් ඉන්න එකම විතරක් නෙවෙයි. එක මුලිකම අවස්ථාවක්. ඒක තව දියුණු කරන්න ඕනි ඉතාම සියුම් චෛතසික ඇතිවෙන නැතිවෙන හැටි දකින විදියට. වේදනානුපස්සනාව දියුණු කරන්න ඕනි ශරීරයේ පරමාණුක මට්ටමේ වෙනස් වීම් දකින තරමට හිත සියුම් කරන්න ඕනි. ඒවා ගුරුවරයෙක් නැතුව කරන්න බෑ
      3. බැරිකමක් නෑ. පුරුදු මදිකම තමා අවුල .එකදිගට කරලා පුරුදුවෙන්න

      Delete
    2. reply එකට ස්තූතියි ...
      මම දැනට ඉන්නෙ ගල්කිස්සෙ , ඔබතුමා දන්න ගුරුවරයෙක් එහෙම එ් අවට ඉන්නවාද?

      Delete
    3. dhamma sobha vipassana kiyala net search karala balanna. eyalage contact number ekak hoyagena ahala balanna galkissa laga monawahari thiyenawada kiyala. man danna hoda aya ewaye innawa

      Delete
    4. බොහොම ස්තූතියි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. විදර්ශණා භාවනා වේ ප්‍රතිපල නිවන් දැකීම හා සත්‍ය අවබෝධය පමණද ?. ලැබෙන අදිමානසික හැකියාවන් තිබේද ?. ඒවා මොනවාද ?

    ReplyDelete
    Replies
    1. විදර්ශනාව තියෙන්නේ සත්‍යාවබෝධය පිණිස විතරයි. අධිමානසික හැකියා විදර්ශනා මගින් ලබාගන්න බෑ. පුළුවන් උනත් ඒක හරිම පහත් ක්‍රියාවක්. මංගල කඩුවකින් කොස් කපනවා වගේ වැඩක්

      Delete
  4. mama anapanasathiya wadanawa mage dan wedi welawak nogosin mage kaya pawenawa wage hangimak danenawa,man ahala thiyenawa ema wenne sitha yam thak durata ekanga unama kiyaala,namuth anapanasathiya boho welawak wadaddi mage konda godak ridenna gannawa,anamanasathiya hansi wela indan wadanna honda nathi nisa dan mta hariyata karanna wenne na,.. namuth man dan kaleka indan maitree bawanawa wadanawa dasa disa maitree bawanawa,dan maithree bawanawa karaddith mata ara anga pawenawa wage danenawa,habei mama maithree bawanawa wadanne hansi wela indan..eke waradak thiyenawada maitree bawanawa hansi wela inna iriyauwen wadana nisa ?

    ReplyDelete
    Replies
    1. maithree bhawanawa hansi wela kalata kamak ne. ehema karalat dhyana labaganna puluwan
      aanaapanasathiya ekadigata karala hitha dhyana mattamata enakota oya ege amaru neti wela yanawa.

      Delete
    2. man dan karanne maitree dasa disa bawanawa karana gaman nasaye agatath hitha yomu karala in passe tika welawakin eth ekkama kaya ganath sithala kayanupassanawa,ita passe nawaththan ethekkama tika welawakin nawatha maitree bawanawa karanawa,budun wahanse deshana kara akarayatai man ema karanne..,mata gataluwak wela thibune hansi wela karana eka prashnayakda kiyala, :) obata pin udaw upakara karanawata

      Delete
    3. ohoma karanna kiyala mona buddha deshanaweda thiyenne? mamanan kohewath ohoma deyak kiyala ne. oka nikan koththuwak wage.ohoma karannepa. eka bhawanawak witharak karanna issella

      Delete
  5. හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින් නිතර වෙනස් වෙන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

    ReplyDelete
  6. widarshana bawana gana dana ganna matanam labuna sources bohoma adui,e wage kaleka mehema post ekakin saralawa wishala danumak laba dhun obata ita ikmanin niwan sampath sakshat karaganimata me pina hethu wewa!!wadi wadiyen kusal daham res wethwa !!

    ReplyDelete
  7. විදර්ශනා භාවනාව කරද්දී අපි ඇස කුණු වෙනවා මැරෙනවා මනසින් දැකල අනිත්‍ය මෙ නෙහි කරන්න ඕනද නැත්නම් හෙතුන් නිසා හටගත් හෙයින්...... විතරක් කිය්යහම ඇතිද?

    ReplyDelete
    Replies
    1. manasin mukuth mawagannepa. samanya widiyata hitanna

      Delete